Followers

Friday, January 31, 2020

රාජ්‍ය පාලන කටයුතුවලදී අතීත භික්ෂුවගේ කාර්යභාරය

විජයගේ ආගමනයත් සමග ආර්ය ජනාවාස පිහිටුවා ගැනීමෙන් මෙරට සිංහල ජනතාවගේ ආරම්භය සිදු වූ අතර මහා මහින්ද මහරහතන් වහන්සේගේ ආගමනයත් සමග මෙරටට බුදුදහම හඳුන්වා දීමත් සමග ධර්මද්වීපයක් බවට පත්විය. ආර්ය සිංහල සංස්කෘතිය ඉන්පසු ආර්ය සිංහල බෞද්ධ සංස්කෘතිය වශයෙන් ගොඩනැංවිණි. මහින්දාගමනය සිදුවීමෙන් පසු මෙරටේ සියලු අංශ බෞද්ධකරණයට ලක් වූ අතර ඒ සඳහා මිහිඳු මහතෙරුන්ගේ කාර්යභාරය සුළුපටු නොවේ. මිහිඳු මහරහතන් වහන්සේ මේ කාලයේ දී මෙරට පාලකයා වශයෙන් කටයුතු කළ දේවානම්පියතිස්ස රජුට රාජ්‍ය පාලනයේ දී අනුගමනය කළ යුතු බෞද්ධ රාජ්‍ය පාලන මූලධර්ම අනුදැන වදාරා ඇති අතර රජු ද තමාගේ උපදේශකයා වශයෙන් පත්කරගත්තේ ද මිහිඳු තෙරුන් ය. එනැන් පටන් දේශපාලනය විෂයයෙහිත් බෞද්ධ සංස්කෘතික වටපිටාවක් ගොඩ නැගීම විෂයයෙහිත් භික්ෂූන් වහන්සේගෙන් සිදු වූ ඇති දායකත්වය, මෙහෙවර අත්‍යුදාර වේ. 

බුදුදහම මෙරට පාලකයා ඇතුළු රටවැසියන් වැළඳ ගැනීමත් සමග ධාර්මික දිවිපෙවෙතක් ගත කිරීමේ මාහැඟි අවස්ථාව ඔවුහු උදාකර ගත්හ. රජතුමා රටවැසියන්ට ආදර්ශයක් වෙමින් බෞද්ධ ගුණධර්මවලින් පිරිපුන්ව කටයුතු කළ අයෙක් විය. රාජ්‍ය පාලකයා නිතැතින්ම බෝධිසත්ව ගුණයෙන් පිරිපුන් විය. ඔහු බෞද්ධ භික්ෂූන් වහන්සේ නිරන්තරයෙන් ඇසුරු කළේ පාලනයේ දී අවවාද අනුශාසනා උපදෙස් ලබාගැනීම සඳහා ය. භික්ෂූන් වහන්සේ දැකීම මංගල කාරණාවක් ලෙසින් දුටුවේය. තෙරුවන් සරණ ගිය රජවරු නිරන්තරයෙන් භික්ෂූන් වහන්සේ ඇසුරු නිසුරු කළහ. මේ අනුව නිතැතින්ම බෞද්ධ භික්ෂුව රාජ්‍ය පාලනයේ දී අනුශාසකයා බවට පත්විය. ජාතියේ මුර දේවතාවා බවට පත්විය. රජුගේ මනා රාජ්‍ය පාලනය සඳහා භික්ෂුවගෙන් ලැබුණු දායකත්වය සුළුපටු නොවන බව මහාවංසය ආදි වංසකථා මගින් ද හෙළිදරව් කරගත හැකිවේ. රාජ්‍ය පාලනයේ දී බෞද්ධ භික්ෂුවට පැවරුණු වගකීම් රාශියක් විය. ඒවා කෙටියෙන් දක්වන්නේ නම්,

රාජ්‍ය උපදේශකත්වය ලබාදීම
රාජ්‍ය නායකයන් පත් කිරීම
රාජ්‍ය නායකයන් ගැටුම්වලදී සමගියට පත් කිරීම
රාජ්‍ය අභිෂේක උත්සව පැවැත්වීම
දුරාචාර පාලකයන් සිහසුනෙන් නෙරපීම
ආගමික කටයුතු සඳහා රජු යොමු කිරීම 

ආදිය ඉන් කිහිපයකි. මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට වැඩම කිරීමට පූර්වයෙන් මෙහි රාජ්‍ය පාලනයේ දී රජුට උපදෙස් ලබාදුන්නේ පුරෝහිතයෙකි. එහෙත් බුදුදහම වැළඳ ගැනීමත් සමග පුරෝහිත තනතුර අභාවයට ගොස් බෞද්ධ භික්ෂුව උපදේශක තනතුරට පත්විය. රාජ්‍ය පාලනය සිදු වූයේ භික්ෂූන් වහන්සේගේ උපදෙස් අනුවයි. බෞද්ධ භික්ෂූන් වහන්සේ ද අපක්ෂපාතී, සාධාරණ, යුක්තිගරුක ලෙසින් ඉතා ධාර්මිකත්වයෙන් යුතුව රාජ්‍ය පාලනයක් ගෙනයාම සඳහා රජුන් මෙහෙයවීය. 

මේ අනුව මෙරට චිර ප්‍රසිද්ධ රජවරුන් තමන්ගේ උපදේශක තනතුරට පත් කරගෙන සිටි බෞද්ධ භික්ෂූන් වහන්සේලා කිහිප දෙනෙක් හඳුනාගත හැකිය. දේවානම්පියතිස්ස රජු මහා මහින්ද තෙරුන් වහන්සේත් සද්ධාතිස්ස රජු කාලබුද්ධරක්ඛිත තෙරුන් ද වළගම්බා රජු මහාතිස්ස තෙරුන් කණිට්ඨතිස්ස රජු මහානාග තෙරුන් මහසෙන් රජු සංඝමිත්ත තෙරුන් පාලන කටයුතුවල දී උපදෙස් ලබාගත් අය වශයෙන් මහාවංසය සඳහන් කරයි. මෙකී භික්ෂූන් වහන්සේලාගේ අවවාද අනුශාසනා ලබමින් රජතුමා මනා රාජ්‍ය පාලනයක් ගෙන ගිය බව වංසකථාවල සඳහන් වේ.

ධාර්මික නායකයන් රටේ නායකත්වයට පත් කිරීමට භික්ෂූන් වහන්සේ මූලිකත්වය ගෙන ක්‍රියා කළ අතරම අධම පාලකයන් නෙරපා හැරීමටත් කටයුතු කර ඇති බව පැහැදිලි ය. එසේ සිදු කළේ යහපත් පාලකයන්ගෙන් රටට සෙතක් ඇතිවනමුත් අධම පාලකයන්ගෙන් රටට මිනිසුන්ට යහපතක් අපේක්ෂා කළ නොහැකි බැවිනි. මේ නිසාම රට දැය සමයට හිතැති අවංක එඩිතර අයෙකු රජයෙහි පිහිටුවීමට භික්ෂූන් වහන්සේ කටයුතු කළහ. අනුරාධපුර යුගයේ දී එළාර පාලනය නිම කිරීමට දුටුගැමුණු කුමරු සමග යුද්ධයට ගියේ භික්ෂූන් වහන්සේ ය. වළගම්බා රාජ්‍ය සමයේ දී වළගම්බා රජුට ආරක්ෂාව සපයමින් ආරක්ෂා කළේ ද භික්ෂූන් වහන්සේ ය. ලජ්ජතිස්ස කුමරුට බලය ලැබීමට තිබියදීත් ඔහුට ඒ අවස්ථාව නොදී ථුල්ලත්ථන කුමරුට පාලන බලය ලබාදුන්නේත් භික්ෂූන් වහන්සේ ය. පොළොන්නරු යුගයේ දී ද ජයබාහු කුමරු රාජ්‍යත්වයට පත් වීමෙන් පසු යුවරජ බවට පත් කරන ලද්දේ විජයබාහු කුමාරයා ය. රජුගේ ඇවෑමෙන් පසුව රාජ්‍යත්වයට පත් වූයේ ද ඔහු ය. මේ අනුව දුටුගැමුණු, වළගම්බා, සද්ධාතිස්ස, ථුල්ලත්ථන, මුගලන්, ධාතුසේන, සංඝතිස්ස ආදි රජවරුන් ගත් කල්හි එකී රජවරුන්ගේ රාජ්‍ය නායකත්වයට පත් කිරීම සඳහා බෞද්ධ භික්ෂූන් වහන්සේගෙන් ලැබුණු දායකත්වය සුළුපටු නොවේ. 

රාජ්‍ය පාලකයන් අසමගි වන්නේ යම් සේ ද එයින් ඔවුන් මුදවාගෙන සමගි සම්පන්න කිරීමේ වගකීම පැවරී තිබුණේ භික්ෂූන් වහන්සේ වෙත ය. රජ කුමරුන් අතර පමණක් නොව රජ-යුවරජ, රජු- ඇමතියන්, රජ-රටවැසියන් අතර ද ආරාවුල් අමනාපකම් ඇති වී තිබේ. මෙවැනි අවස්ථාවලදී මැදහත්ව සමගි කළේ භික්ෂූන් වහන්සේ ය. වළගම්බා රජු ඇමතිවරයෙකු සමගත් ගැමුණු කුමරු තිස්ස කුමරු අතරත් දෙවන සේන රජු මිහිඳු යුවරජු සමගත් ඇති කරගෙන තිබූ නොහොඳ සමථයකට පත් කළේ භික්ෂූන් වහන්සේගේ මූලිකත්වයෙනි. ඒ අයුරින් භික්ෂුව රාජ්‍ය පාලනය විෂයයෙහි මැදිහත් වීම සිදු වූ නිසා මහා විපත් වැළකී ගිය බව පැහැදිලිව හැඳිනගත හැකිය.

අධර්මිෂ්ට පාලනයක් සිදු වන්නේ නම් එයින් රටටත් රටවැසියාටත් මහත් අයසක් ගෙන දීමට සමර්ථ ය. රට දැය සසුන කෙරෙහි කිසිදු සැලකිල්ලක් නොදක්වා තම බලකාමය අනුව රාජ්‍ය විචාල රජවරුන් කෙරෙහි භික්ෂූන් වහන්සේගේ දෝෂදර්ෂණය ලක්විය. එවැනි පිරිස් රාජ්‍ය පාලනයෙන් ඉවත් කර දැමීමට භික්ෂුව කටයුතු කළේය. අගතිගාමී රජවරුන් පත්වීමෙන් මහත් පරිහානියට රාජ්‍යය පත්වන බැවින් එවැනි අය තනතුරුවලට පත්වීමට පෙරම ප්‍රතික්ෂේප කිරීමට භික්ෂුව මැලි නොවූහ. සද්ධාතිස්ස රජුගෙන් පසු රාජ්‍යත්වයේ උරුමය ලජ්ජිතිස්ස වැඩිමල් පුතණුවන් වෙත තිබුණත් ඔහුගේ ක්‍රියාකලාපය නුසුදුසු වූයෙන් දෙවැනි කුමරු වූ ථුල්ලත්ථන කුමරු රාජ්‍යත්වයට පත් කළේ භික්ෂූන් වහන්සේගේ යෝජනාවෙනි. එසේම තම පියා මරා රාජ්‍යත්වයට පත් වූ කාශ්‍යප රජු කෙරෙහි විරුද්ධත්වයක් ප්‍රකාශ කළ භික්ෂූන් වහන්සේලා මුගලන් කුමරු සමග එකතු වී ඔහු පාලනයට ගෙනීමට කටයුතු කළ බව ද ඉතිහාස වාර්තා අනුව හඳුනාගත හැකිය. මේ අයුරින් අධම නායකයන් රාජ්‍ය පාලනයට පත් වනවිට ඔවුන්ට එරෙහිව නැගී සිටීමට භික්ෂුව ක්‍රියාකළ නිසා රටවැසියන්ට ද සතුටින් ජීවත් වීමේ හැකියාව උදාවිය.

මෙරට රාජ්‍ය පාලනය කළ සියලු රජවරුන් බෞද්ධ වෙහෙර විහාරස්ථාන නගා සිටුවමින් බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළ බව හඳුනාගත හැකි සාක්ෂ්‍ය ඕනෑතරම් මේ ලක් පොළොවේ ස්ථාපිතව ඇත. රුවන්වැලිසෑය, මිරිසවැටිය, ථූපාරාමය, ලෝවාමහාපාය, ජේතවනාරාමය, කිරිවෙහෙර, තිස්සමහවෙහෙර, ඉසුරුමුණිය, ශ්‍රී මහාබෝධිය, දළදා වහන්සේ ආදි වශයෙන් සඳහන් කළ අත්‍යුත්තම නිර්මාණත් සඳහන් නොකළ මහාර්ඝ බෞද්ධ නිර්මාණත් ගොඩනැගුණේ රජතුමාගේ අනුග්‍රහයෙනි. දුටුගැමුණු, සද්ධාතිස්ස, දෙවනපෑතිස්, සිරිසඟබෝ, අග්ගබෝධි ආදි රජවරු ලංකා රාජ්‍යය අවස්ථා ගණනාවක දී බුද්ධ ශාසනයට පූජා කර ඇත. එසේම ඔවුන් බෞද්ධ රාජ්‍ය පාලන මූලධර්මවලට අනුව ධාර්මිකත්වයෙන් යුතුව පංචශීල ප්‍රතිපදාව අනුගමනය කරමින් සතර සංග්‍රහවස්තු සුරකිමින් සතර බ්‍රහ්ම විහාරයෙන්, දසරාජ ධර්මයෙන්, සප්ත අපරිහානි ධර්මවලට අනුගත වෙමින් මනා පාලනයක් ගෙන ගිය බව ඉතිහාස පුවත්වලින් හැඳිනීම දුෂ්කර නොවේ.

මෙසේ දැහැමිව රාජ්‍ය පාලනය කළ සැම රජ කෙනෙකුම බෞද්ධ භික්ෂුවගේ ඇසුර අපේක්ෂා කළේය. ජාතියේ මුර දේවතාවා වශයෙන් භික්ෂුව සැලකීය. භාතිකාභය රජු භික්ෂූන් වහන්සේට අමාත්‍ය ධුර ද පිරිනමා ඇති බව පෙනේ. මේ අනුව සැම කටයුත්තක දී ම භික්ෂූන් පෙරටුවේ තබාගෙන කටයුතු කිරීමට එකල විසූ රාජ්‍ය නායකයන් දෙවරක් නොසිතූ බව පෙනේ. එය ඔවුන් අතිශයින් ප්‍රිය කළ කරුණක් විය. එසේ නොකර ස්වාධීනව කටයුතු කිරීම දේශයට රජයට සසුනට ද්‍රෝහි වීමක් ලෙසින් ඔවුහු සැලකූහ.
මේ අනුව බුදුදහමින් ඔපවත් වූ ලාංකේය දේශපානය සංස්ථාව බෞද්ධ භික්ෂුවගේ නායකත්වයෙන් විකාශසය වූ බව හැඳිනගැනීම දුෂ්කර නොවේ. අතීත ලාංකේය භික්ෂුව, රජු හා දේශපාලනය කිසිවිටෙකත් වෙන් කළ නොහැකි සංකල්පයක් විය. ඕනෑම කථිකාවතක දී මේ තුනම එකට සබැඳී පැවතිණි. මේ අනුව අතීත භික්ෂුවගේ දේශපාලන මැදහත්වීමේ ස්වභාවය හඳුනාගත හැකිය.


පදියතලාවේ ඤාණවිමල හිමි

ළමයාගේ පෞරුෂ වර්ධනය ස ` දහා   ජන සාහිත්‍යයේ ඇති වැදගත්කම බිහේෂ් ඉන්දික සම්පත් ළමයා ගේ පෞරුෂ වර්ධනයට ජන සාහිත්‍යය වැදගත් වන ආකාරය සාකච්ඡ...