සාහිත්‍ය වර්ණනා
අමාවතුර
අමාවතුරෙහි බස සරල ය. වාක්‍ය කෙටි ය. අරුත් වටහා ගැනීම පහසු ය. කියවන්නා වෙහෙසට පත් නොකරයි. අනවශ්‍ය වර්ණනාවලින් තොර ය. (මාර්ටින් වික්‍රමසිංහ, සිංහල සාහිත්‍ය ලතා, 25 පිටුව)
හෙළු වහරේ අර්ථ ශක්තියේ තියුණු තරම පිරික්සිය යුතු නම් බැලිය යුත්තේ ගුරුළුගෝමීන්ගේ අමාවතුරේ එන හෙළුවයි. වරක් කියවා බැලූ දේ නැවත කියූ විට අලුත් හැඟීම් පාඨකයා තුළ දැනවීම නිසා හෙළුව හුරු දනට අමාවතුරු බව සැම විටම නවතාවෙන් යුතුව කියවා රස විඳිය හැකිය. කෙටි වචන හා කෙටි වැකිවලින් පුදුමාකාර සේ අරුත් දැනවීම ගුරුළුගෝමීන්ගේ රචනයෙහි ඇති විශේෂ සලකුණයි. (පුංචිබණ්ඩාර සන්නස්ගල, සිංහල සාහිත්‍ය වංශය, 1994, 134 පිටුව)
අමාවතුර පුරා පැතිර පවත්නා ශ්‍රේෂ්ඨ ලේඛක ලක්ෂණයන් අතර අරුතට රසයට සිරිතට තැනට සුදුසු පරිදි භාෂාව හා රචනා ශෛලිය යෙදීමේ ගුණය බෙහෙවින් අගය කළ යුත්තකි. හුදු හෙළ බසට කතුවරයා මහත් සේ ප්‍රිය කළ බව පෙනේ. සිංහල භාෂාවේ සැඟව තිබූ ව්‍යක්ත ස්වරූපය ප්‍රාණවත් භාවය රසවහ ගුණය ගුරුළුගෝමීන්ගේ නිර්මාණ කෞෂල්‍ය නමැති පර්යේෂණාගාරය තුළ දී නිසි ලෙස සකස් වී සජීවි භාෂාවක් ලෙසින් බිහි වූ අයුරු අමාවතුරෙන් පෙනේ. (හොරණ වජිරඥාන හිමි, සිංහල සාහිත්‍ය ග්‍රන්ථ ප්‍රදීපිකා, 1992, 105-6 පිටු)
ආදිම ගද්‍ය කාව්‍ය ලෙස සැලකිය යුතු අමාවතුරෙහි දක්නා ලැබෙන්නේ දේශීය මාර්ගයට හුරු වන රීතියකි. ගුරුළුගෝමීන්ගේ අමාවතුරු භාෂාව ද ශ්‍රේෂ්ඨ ග්‍රන්ථකාරයෙකු අතින් ශිලාමය භාෂාවමය (සකස් වුණු) ගුරුළුගෝමීහු සංස්කෘත ගද්‍ය රීතියට වඩා පාලි රීතිය ගුරු කොට සැලකූවෙකි. එහෙයින් පාලි රීතිය ගුරු කොටගත් ගුරුළුගෝමීන් විසින් හැඩගැසුණු දේශීය මාර්ගයක් ලෙස සැලකිය යුතු අමාවතුර රීතිය නවීන කවර බසක් වුවද උසස් සරල රීතියට දෙවැනි නොවන්නකි. (මාර්ටින් වික්‍රමසිංහ, සිංහල සාහිත්‍යයේ නැගීම, 1963, 99 පිටුව)
කතාව කෙටියෙන් කියමින් වචන පිරිමැස්මෙන් යෙදීම ගුරුළුගෝමීන්ගේ රචනා චාතුර්යයේ එක් අංගයක් වේ නම් වචනවල සම්පූර්ණ ප්‍රයෝජනය ගැනීම එහි තවත් අංගයකි. ගුරුළුගෝමීහු අරුත් පැවසීමට පමණක් නොව හැඟීම් ඇවිස්සීමට ද වචන යොදති. බසෙහි ඇති අලංකාර ඔවුහු හඳුනති. (ආනන්ද කුලසූරිය, සිංහල සාහිත්‍යය 1, 1963, 149 පිටුව)
කියයුතු කරුණු දිග්ගස්සමින් පුන පුනා කීම ගුරුළුගෝමීන්ගේ සිරිත නොවීය. කෙටි වූත් සරල වූත් පද තුන හතරකින් ඔහු රසවත් වැකියක් මවයි. එවැනි වැකකි කිහිපයකින් මහා දිග පුවතක් හකුලා කීම ගුරුළුගෝමීන් තුළ පිහිටි අපූරු දස්කමකි. (නිවන්දම ශ්‍රී ධර්මකීර්ති හිමි, සිංහල සාහිත්‍යයේ ස්වර්ණ යුගය, 1952, 93 පිටුව)
සොළී බලය ලක්දිව කෙමෙන් පැතිරෙත්ම හින්දු සමය නිසා ඇති වූ දේව ඇදහිලි හා දේවපූජා නමැති මහවතුරට අපේ බෞද්ධ ජනතාව යටත් වූහ. එයට බිළියම් කිරීම සඳහා ඉදිරිපත් වූ මුල්ම ලේඛකයා ගුරුළුගෝමීන් විය හැකියි. ධර්ම ග්‍රන්ථයක් ද ඉක්බිතිව බුද්ධ චරිතයත් ද ලියූ ගුරුළුගෝමීන්ගේ වෑයම වූයේ දේව ඇදහිලි පුද පූජා කෙරෙහි යොමු වූ ලක් ජනතාවගේ සිතිවිලි යළිත් බුදුන් හා බුදුදහම වෙත හරවා ලීමය. (ඒ.වී. සුරවීර, සිංහල සාහිත්‍ය සම්ප්‍රදාය, 1966, 91 පිටුව)
ගුරුළුගෝමීන් කියයුත්ත වචන ස්වල්පයකින් කියයි. වර්ණනාව ද වචන ස්වල්පයකින්ම කරයි. ඒ ගුරුළුගෝමීන්ගේ දුර්ලභ කවීත්වයෙහි ශ්‍රේෂ්ඨාංගයකි. එසේ වුවද ඔහු වචන හත අටකින් කියන ගම්භීර විෂය පවා වැටහෙයි. අමාවතුරෙහි භාෂා විලාසය අමුතු ය. එය කවීත්වයෙන් මෙන් විසාරද ග්‍රන්ථ ඥානයෙන් සකස් වුණු කුශාග්‍ර බුද්ධියෙන් යුතු චින්තකයෙකු වූ ගුරුළුගෝමීන් අතින් නිරුත්සාහයෙන්ම ඔප් නැගුණු නෛසර්ගික වාග් විලාසයකි. බුද්ධ චරිතයෙහි වුවත් අනෙක් කතාවස්තුවක් වුවත් සාරය පිඬු කොටගත් දෙයක් වචන ස්වල්පයකින් සිත් කාවදින ලෙසත් රසවත් ලෙසත් කියන්නටත් අපූර්ව ප්‍රතිභාවක් ගුරුළුගෝමීන්ට තිබුණේය. සිංහල ගද්‍ය ග්‍රන්ථාවලියෙහි අග්‍රස්ථානය එයට හිමි ය. සිංහල කවි පරපුරෙහි ශ්‍රේෂ්ඨ චින්තකයා ගුරුළුගෝමීහු ය. (මාර්ටින් වික්‍රමසිංහ, සාහිත්‍යෝදය කථා, 1932)
අදහස් සිත් කාවදින ලෙස කියා පෑ හැකිය. විශාල අදහස් සමූහයක් වචන කීපයකට ගොනු කළ හැකි ලේඛකයෝ දුර්ලභ ය. ගුරුළුගෝමි එබඳු දුර්ලභ ලේඛකයෙකි. ඔහුගේ රචනා ශෛලිය ඍජු ය. සරල ය. මධුර ය. සිලුටු ය. වාක්‍ය ලුහුඬු ය. ඔහු භාවුක කවියෙකි. (කොටහේනේ ප්‍රඥාකීර්ති හිමි, සාහිත්‍ය කථා, 1951)
බුත්සරණ
බුත්සරණ වනාහි බුදුන් වහන්සේ කෙරෙහි අවංක ශ්‍රද්ධා භක්තියෙන් පිරි උගත් පඬිවරයාණ කෙනෙකුන්ගේ ප්‍රබන්ධයකි. ඇතැම් තැනක වාක් ප්‍රපංචයෙන් යුතුවෙතැයි යන චෝදනාව එල්ල කළ හැකි තරම් වාගාඩම්බරයක් එහි ඇත. එහෙත් බොහෝ සෙයින්ම එහි භාෂාව ගත්කරුවන්ගේ අපරාධීන වර්ණනා චාතුර්ය කියාපායි. ඔවුන්ගේ කවීත්වය ග්‍රන්ථ ඥානයෙන් ඔප් නැගුණේය. වාක්‍ය ප්‍රයෝගය අලංකාර උපමාවන්ගෙන් සැදුණේය. භක්ති සාහිත්‍යයට පිරිනැමූ අනර්ඝ උපහාරයකි. (ආනන්ද කුලසූරිය, සිංහල සාහිත්‍යය 1, 181 පිටුව)
විද්‍යා වක්‍රවර්තීන් විසින් ජනප්‍රිය සාහිත්‍ය ග්‍රන්ථයක් නිපදවන අදහස වඩාත් ප්‍රමුඛ ස්ථානයෙහි තබාගෙන බුත්සරණ රචනා කරන ලදැයි සිතිය හැකිය. එයින් වර්ණනා වන්නේ බුදුරජුන්ගේ චරිතය යි. බුත්සරණ භාෂාව අමාවතුරු භාෂාවට වඩා ශිථිලය. කෝමළ ය. සුලලිත ය. අනුප්‍රාස රසයෙන් යුක්ත ය. අනුචිත දේ බැහැර කොට උචිත දේ පමණක් ගෙන උචිත පදයෙන් වර්ණනය කිරීම ශ්‍රේෂ්ඨ කවීත්වයේ ලක්ෂණයකි. ඒ ලක්ෂණ බුත්සරණෙහි දක්නා ලැබෙන්නේ මඳ වශයෙනි. (මාර්ටින් වික්‍රමසිංහ, සාහිත්‍යෝදය කථා, 25 පිටුව)
බුත්සරණෙහි රචනා විලාසය පාඨකයාගේ හදවත බුද්ධ භක්තියෙන් සපුරා ලීමෙහි සමත් වේ. බුද්ධ චරිතය වර්ණනා කරනු සඳහා ත්‍රිපිටකයෙහි හා අර්ථකථාවෙහි ඒ ඒ තැනින් කරුණු නගාගෙන තැනට සුදුසු පරිදි බුද්ධගුණ සංග්‍රහ කොට ඇත. විද්‍යා චක්‍රවර්තීන් වෙත ත්‍රිපිටක ධර්ම විෂයයෙහි පෘථුල බුද්ධියකුත් බුද්ධියට අනුරූප වූ ශ්‍රද්ධාවකුත් පැවති බවට බුත්සරණ ම සාධකව සිටුනේ ය. (තලල්ලේ ධම්මානන්ද හිමි, සිංහල සාහිත්‍ය ලතා, 54 පිටුව)
විද්‍යා චක්‍රවර්තීන්ගේ රචනය අමුතු එකකි. බුත්සරණ කියවූ විට සිංහල රචනයෙහි ඔහු තුළ පැවති සහජ දස්කම් දැකිය හැක්ක. බුදුන් කෙරෙහි ඔහු තුළ කිඳා බැස තිබූ මහත් ආදරය-භක්තිය හා ගෞරවය පොතේ සැම වැකියකින්ම වචනයකින් ම පෙනී යාම බුත්සරණ රචනයෙහි විශේෂයෙකි. විද්‍යා චක්‍රවර්තීන් රචනයෙහි පෑ අනෙක් දස්කම නම් තැනට සුදුසු උපමා ගෙන හැර පෑමයි. අවස්ථාව ස්වාභවිික සේ නිරූපණය කිරීමෙහිත් කාරණය තහවුරු කිරීමට තැනට ගැළපෙන උපමා යෙදීමෙහිත් විද්‍යා චක්‍රවර්තීන් පෑ දස්කම් පොත පුරාම පැනේ. (පුංචිබණ්ඩාර සන්නස්ගල, සිංහල සාහිත්‍ය වංශය)
අමාවතුර ගුරු කොටගත් විද්‍යා චක්‍රවර්තීහු අලුත් මගක් ගත්තේ ය. විද්‍යා චකද්‍රවර්තීන්ගේ රීතිය, ධර්මදේශනයන්ගේ ව්‍යවහාරයෙහිත් සංස්කෘත ගද්‍ය රීතියෙහිත් සංකලනයකි. ධර්මදේශකයන්ගේ ව්‍යවහාරයට අනුගතව සකස් වුණු ඒ රීතිය පහළ වූයේ පොදු ජනයා සඳහා බණකතා ලිය යුතු වූ නිසාම නොවේ.
බුත්සරණ බුදුගුණ කියන ගද්‍ය කාව්‍යයක් නොව බුදුගුණ නාමාවලියක් වැන්න. පිටුවකින් කිවහැකි අර්ථාවලියක් කෙටි වැකියකින් කිව හැකි නම් එය උසස් කවීත්වයේ ලක්ෂණයකි. (මාර්ටින් වික්‍රමසිංහ, සිංහල සාහිත්‍යයේ නැගීම, 116, 121 පිටු)
ගුරුළුගෝමීන්ගේ අමාවතුර හුදු පරිවර්තනයකි. එහි භාෂාව අලුත් විලාසයක් ගන්නා නමුදු ග්‍රන්ථ කර්තෘහුගේ ප්‍රතිභානයෙන් එකතු වූ කිසිවක් එහි නැත්තේය. සද්ධර්මරත්නාවලිය ද පරිවර්තනයකි. බුත්සරණ වූ කලී ඒ සියලු ග්‍රන්ථම පරදවා චක්‍රවර්තී ශ්‍රීයක් දරයි. මේ ග්‍රන්ථය වනාහි නොයෙක් චරිත කථාවන් පමණක් නොව උසස් ධර්ම කොට්ඨාස ද සැකෙවින් දක්වන ලදි. මෙහි පෙනෙන නෛසර්ගික වූ පද ලාලිත්‍ය අතිශය වෛචිත්‍යාවහ ය. කියන්නන් කනට අසන්නන් කනට සුව එළවන ලිහිල් වචනයන් තෝරා ගැනීමෙහි විද්‍යාචක්‍රවර්තීන් තුළ වූ ශක්තිය අනික් එක ද සිංහල ගද්‍ය ග්‍රන්ථකාරයෙකු වෙත නොවීය. (වැලිවිටියේ සෝරත හිමි, බුත්සරණ සංස්කරණය, ප්‍රස්ථාවනා)
ශ්‍රද්ධා භක්තියෙන් ඇළලී ගිය හදවතකින් බරව තෙරුවන් ගුණ වැයූ කවීන් අතුරින් විද්‍යාචක්‍රවර්තීන් තරම් උසස් කෙනෙකු සිංහල සාහිත්‍යයෙහි නැති තරම් ය. විද්‍යා චක්‍රවර්තී තමන්ගේ ශ්‍රද්ධා භක්තියත් ගුණ ගෞරවයත් නිර්මාණ ශක්තියත් භාෂා නෛපුණ්‍යයත් රචනා චාතුර්යයත් තෙරුවන් අරභයා පුද කළේය. සිංහල සාහිත්‍යයේ උසස්ම භක්ති කාව්‍ය ලෙස පිළිගත හැකි බුත්සරණ විද්‍යාචක්‍රවර්තීන්ගේ ය. ඔහු සිංහල සාහිත්‍යයට අමුතුම පණක් ගෙන දුන් විශිෂ්ට ග්‍රන්ථ කතුවරයෙකි. (නිවන්දම ධර්මකීර්ති හිමි, සිංහල සාහිත්‍යයේ ස්වර්ණ යුගය, 101 පිටුව)
සද්ධර්මරත්නාවලිය
ධම්මපදට්ඨකථාව කොතරම් පරෙස්සමින් හදාරණ ලද වුවද ධර්මසේන හිමියන්ගේ ග්‍රන්ථය එහි පදානුගත පරිවර්තනයක් නොවෙයි. එය පරිවර්තනයකැයි කිව නොහැකි තරම් ය. අටුවා කතාවේ අරුත් පමණක් ගෙන ගත්කරු හිමියෝ තමන්ටම ආවේණික වූ මනහර බසින් පැවසූහ. ඔවුන්ගේ වර්ණනා ක්‍රමය සමහර තැනක අටුවාවට අනුව යන්නා සේ පෙනුණත් එයට අයත් වූවත් නොවෙයි. එය අමුතු මඟකි. නව පිළිවෙතකි. (ආනන්ද කුලසූරිය, සිංහල සාහිත්‍යය 2)
නිදහස් සිතිවිල්ලට ඉඩ දුන් සියත් බව පළ කළ ගත් කරුවෙකු ලෙස ද දහම්සෙන් හිමියෝ සඳහන් ලබති. පොතටම ගැති නොවුණු ඔහු කතා සැකසීමෙන් බස් ආර පෑදීමත් කළහ. ඔවුන් නිදහස් සිතිවිල්ලට තැන් දුන් සැටි ඔවුන්ගේමැ බසින් වුවද දැක්විය හැකිය. (රිචඞ් ද සිල්වා, හෙළ පොත් විවසුව)
සද්ධර්මරත්නාවලිය උදක් පාලි ධම්මපදට්ඨකථාවේ අනුවාදයක් පමණක් නොවේ. එමෙන්ම ගුරුළුගෝමීන් විසින් පාලි කථා වස්තූන් පදානුපදික ලෙස පරිවර්තනය කරමින් අමාවතුර ලියූවාක් මෙන්ම කරන ලද පරිවර්තනයක් ද නොවේ. සද්ධර්මරත්නාවලිය ධම්මපදට්ඨකථාවේ එන තුන්සියයකට අධික කථාවස්තු සිංහලයට පරිවර්තනය කරමින් විස්තර කළ යුතු තැන්හි විස්තර කරමිනුත් උපමා යෙදිය යුතු තැන්හි උපමා යොදමිනුත් මේ රටවැසියන් හට වැටහෙන පරිදි ලංකාවේම ඉපදුණු කථාවන්ගේ ස්වරූපය කථාවලට දෙමින් කාහටත් වැටහෙන ඉතාම ලිහිල් සරල එමෙන්ම ඉතා නිවැරදි භාෂා සම්ප්‍රදායයක් අනුව ඉතා උසස් ශෛලියකින් ලියවී ඇති හෙයිනි සද්ධර්මරත්නාවලිය එතරම් ජනප්‍රිය ශ්‍රේෂ්ඨ ධර්ම ග්‍රන්ථයක් වසයෙනුත් උසස් සාහිත්‍ය කෘතියක් වසයෙනුත් පිළිගැනී ඇත්තේ. (කේ.ඩී.පී. වික්‍රමසිංහ, සිංහල ලේඛක පරපුර)
ධර්මසේන හිමි ගුරුළුගෝමීන් කළාක් මෙන් පාලි අටුවාව තමා ඉදිරිපිට තබා ගෙන කථා පරිවර්තනය නොකළේය. රත්නාවලියේ කථා ශෛලිය මගින් පෙනෙනුයේ ධර්මසේන හිමියන් දිගින් දිගටම තම ධර්ම දේශනා ක්‍රමයට මෙම කතා සම්බන්ධ කොට ඇති බවයි. ඒවා තම ආවේණික අංග බවට පත්ව තිබිණ. ඔහු එම කථා මුවඟට සිනහවක් නැගෙන සේ රචනා කිරීමට සමත් විය. කථාවෙහි අනෙක් අංගයන් ද ජන ජීවිතයෙන් පොත පතින් හෝ බුද්ධ ධර්මයෙන් උකහා ගෙන රචනා කොට තිබේ. කථා කලාවේ දී ධර්මසේන හිමියන් තමාටම ආවේණික ශෛලියක් අනුගමනය කළා පමණක් නොව ඒවා තෝරා බේරා ගැනීමේ දී ධම්මපද අටුවාවට පමණක් සීමා වූයේ ද නැත. (සී.ඊ. ගොඩකුඹුර, Sinhalese Literature - - සිංහල පරිවර්තනය)
මෙහි එන ඇතැම් උපමා ගැමියන්ගේ තොරතුරු කියන වාර්තා වැන්න. එයින් ගැමියන් ජීවත් වුණු හැටි, ඔවුන් කෑ බී හැටි. ඔවුන් ප්‍රීති වුණු හැටි. ඔවුන්ගේ රැකී රක්ෂා හා ඔවුන්ගේ ආවාහ විවාහ සිරිත් ආදිය හෙළි වේ. කර්තෘපාදයන් ඒ තොරතුරු දැනගත්තේ ආරංචියෙන් නොව ගැමියන්ගේ කථාබහට ඇහුම්කන් දීමෙනි. උපහාසයක් කළ යුතු තැන මුන් වහන්සේ මුවට නැගෙන ඇනුම් පද කිණිස්සක් මෙන් තියුණු වුවද ඒ සමගම නැගෙන්නේ මුවපුරා සිනාවකි. ශබ්ද නගා සිනාසීමෙන් අර දරුණු උපහාස පදවල විස මැකෙයි. (නිවන්දම ශ්‍රී ධර්මකීර්ති හිමි, සිංහල සාහිත්‍යයේ ස්වර්ණ යුගය)
ග්‍රන්ථය මුළුල්ලෙහිම අර්ථ රසය නොසිඳ පවස්නේ උන්වහන්සේ උපමා ගළපා ලූ ව්‍යක්ත ආකාරය නිසා ය. එහෙයින් රත්නාවලියෙහි පෙනෙන උපමා වෙන්ව ගෙනහැර පෑවාට එහි රචනා විලාශය තේරුම් ගන්නට නුපුළුවන. උපමාවක අගය පවතින්නේ වාක්‍ය රචනා ස්වරූපය අනුව ය. මේ විශිෂ්ට උපමා දැක්වීමෙහි චාතුර්යය නිසා පටිච්චසමුප්පාදය වැනි දුරවබෝධ ධර්මයන් ලෙහෙසියෙන්ම තේරුම් ගත හැකි ලෙසට රත්නාවලියෙහි සඳහන්ව තිබේ. (ඩී.බී. ජයතිලක, සිංහල සාහිත්‍ය ලිපි)
සද්ධර්මරත්නාවලිය ලෙව් ලැකියෙන් පෝෂිත වූ නිහතමානී සිංහල කවීත්වය කියන්නෙකි. දිය උරා ගන්නා කඩමාල්ලක් සේ ගමේ හැදී වැඩී ගමෙහි බසින් පෝෂිත විය. කවි සමයටට වඩා ලෝක ව්‍යවහාරය අගය කොට ඇත. පොතින් ද නොව ජීවිතය නමැති තක්ෂිලාවෙන් ලද පසක් නුවණින් පෝෂිත අව්‍යාජ කවියෙකි. (මාර්ටින් වික්‍රමසිංහ, විචාර ලිපි හා ජාතක කතා විමසුම)
එවෙලෙහි කපන ලද ගොයම් කොළ කැටියකින් මෙන් සද්ධර්මරත්නාවලියෙන් නිකුත් වන්නේ සිංහල ජනයාගේ ජීවිතය පිළිබඳ නවමු සුවඳක් බවත් අනෙක් සිංහල ගද්‍ය පද්‍ය කාව්‍යයන් කෙරෙන් බෙහෙවින් වහනය වන්නේ පුස්කොළ පොත්වල සුවඳ මිස සිංහලයන්ගේ ජීවිතය නමැති පුෂ්පයෙහි සුවඳ නොවේ. (මාර්ටින් වික්‍රමසිංහ, සාහිත්‍යෝදය කථා හා සාහිත්‍ය කලාව)
පන්සියපණස් ජාතක පොත
සිංහල ජාතක පොතේ බස පොදුජන බස ලෙසින් ඇඳින්නීම උගතුන්ගේ සිරිත ය. සද්ධර්මරත්නාවලියෙන් ඇරඹුණු පොදු ජන වහර කතා රචනයට සුදුසු අයුරින් දක්නට ඇත්තේ ජාතක පොතෙහි ය. උගතාටත් නූගතාටත් බාලයාටත් මහල්ලාටත් තේරුම්ගත හැකි බස් නියරක් දක්නට ලැබෙන්නේ ජාතක පොතෙහි ය. (මාර්ටින් වික්‍රමසිංහ, ජාතක කතා විමසුම, 130 පිටුව)
එකල විසූ සාමාන්‍ය ජනතාවට තේරුම් ගත හැකි පරිදි පොදු ජනවහරට ළං වන අයුරින් ජාතක පොතේ භාෂාව සකස් වී ඇති නිසා එදාත් අදත් එය ඔවුන් අතර ජනප්‍රියව ඇත. (බලගල්ලේ විමලබුද්ධි හිමි, කුරුණෑගල යුගයේ සිංහල භාෂාව, 59-60 පිටු)
සංස්කෘත මිශ්‍ර කඨෝර ශෛලිය ද ගැන වැඩි සැලකිලි නොදැක්වූ ජාතක පොතේ කර්තෘහු සද්ධර්මරත්නාවලී මාර්ගය ගරු කරමින් වැඩි පිරිසකට කියවා හෝ අසා තේරුම් ගෙන රසවිඳිය හැකි බස්වහරකින් ජාතක පොත සම්පාදනය කළෝය. (ඒ.වී. සුරවීර, සිංහල සාහිත්‍ය සම්ප්‍රදානය, 165 පිටුව)
ජාතක පොත නිසා අප්‍රබුද්ධ ජනකාය තුළ ද පොතපත කියවීමේ ආශාවක් හා බන් ඇසීමේ ආශාවක් ද ඇති විය. ජාතක පොත ධර්ම ධරයෙකු මෙන් ම ධර්මය උගන්වමින් පොදු ජනයා විනෝදයට පත් කළේය. ඔවුන් තුළ පවට බියක් ඇති කළේය. (මාර්ටින් වික්‍රමසිංහ, සාහිත්‍යෝදය කථා, 41 පිටුව)
මෙසේ සම්පාදිත වූ පන්සිය පණස් ජාතක පොත එතැන් පටන් ගත වූ අවුරුදු පන්සියයකට වැඩි කාලයක් මුළුල්ලෙහි සිංහල ජනයා අතර අනික් සියලුම පොත්වලට වඩා බහුල වශයෙන් භාවිත වූයේය. විහාරස්ථානවල ද බෞද්ධ ගෘහවල ද ජාතක පොතෙන් බණ කීම හා බණ ඇසීම පුරුද්දක්ව පැවතුණේය. (ඩී.බී. ජයතිලක, සිංහල සාහිත්‍ය ලිපි, 103 පිටුව)
ලෝක සාහිත්‍යයේ දක්නට ලැබෙන පැරණිතම ජනශ්‍රැති සංග්‍රහය ජාතක කථා වෙයි. එසේ වුව ජාතක කථාවල දක්නා ලැබෙන්නේ එහි මුල් මුහුණුවර නොවෙයි. දැනට අප හමුවේ ඇත්තේ සියවස් ගණනක් මුළුල්ලේ අඩුවෙමින් වැඩිවෙමින් සකස් වී ආ කතා සමූහයකි. (ආනන්ද කුලසූරිය, සිංහල සාහිත්‍ය 4, 9 පිටුව)
ජාතක පොත තරම් බෞද්ධයන් අතර පතළ වූ පොතක් වෙන නැතැයි කිව යුතුය. සාමාන්‍ය ජනයාට එය ඉතා හුරුපුරුදු පොතකි. බුද්ධාගමෙහි ආවේණික ලක්ෂණයක් වූ සුචරිතය, කර්මවාදය, එළිකිරීමට ලියූ මෙතරම් සුබෝධ ග්‍රන්ථයක් තව නැත. (කොටහේනේ පඤ්ඤාකිත්ති හිමි, සාහිත්‍ය කථා 4, 23 පිටුව)
දළදා සිරිත
දළදා සිරිත පාඨකයන්ගේ සිත් අදනේ එහි කියැවෙන කතා පුවතට වඩා එය කියා ඇති සැටියෙනි. කතාපුවතේ රසයක් නැති නිසා නොව එය පාඨක ජනයා හොඳින් දැන සිටි බැවින් එහි අමුත්තක් ඔවුන්හට නොවී. ලක්වැසි සිංහලයෝ දළදා පුවත කියවා දැන නොසිටියාහු නම් එකතින්ම අසා දැන සිටියාහුය. එහෙත් මෙහිලා ඒ කතා පුවත කියවෙන්නේ අපට හුරුපුරුදු සාමාන්‍ය භාෂා රීතියෙන් නොවෙයි. ඇත්ත වශයෙන් කියතොත් එය පාඨක පිරිසක් උදෙසා නොව ශ්‍රාවක පිරිසක් උදෙසා පබැඳුනකි. එය නිමවී ඇත්තේ කියවීමට වඩා හඬ නගා කියනු ඇසීමට තුඩුදෙන බස් නියරෙකිනි. (ආනන්ද කුලසූරිය, සිංහල සාහිත්‍යය 3, 195 පිටුව)
ශබ්ද රසයට මුල්තැන දෙන වෘත්තගන්ධි ක්‍රමය වූ කලී ගද්‍යයටත් පද්‍යයටත් අතර වූ රචනා විශේෂයක් වන්නේ ය. මේ කර්තෘ වෘත්තගන්ධි ශෛලියෙන් ලියවුණු නමුත් කුරුණෑගල අවධියේ ඒ ලේඛකයන්ගේ පරිශ්‍රමය අසාර්ථක අත්හදා බැලීමක් වශයෙන් හැඳින්විය හැකිය. ගද්‍ය රචනා විෂයයෙහි මෙය අසාර්ථක වූවත් කුරුණෑගල යුගයෙන් පසු එළිසම පද්‍යයේ ආරම්භය සඳහා මෙයින් කිසියම් පිටුබලයක් ඇති වූ බව පෙනේ. (ඒ. වී. සුරවීර, සිංහල සාහිත්‍ය සම්ප්‍රදාය, 21 පිටුව)
දඹදෙණි කාලයේ දී ලියැවී ආවේ පොදු ජනයාගේ ප්‍රයෝජනය සඳහා බණ පොත් රැසකි. සෑහෙන පමණ බණපොත් මෙසේ ලියැවුණාට පසු අපේ ගත්කතුවරුන්ගේ සිත් බණට යාබද අනෙක් දේ කරා යොමු විය. එහි ප්‍රතිඵලයක් වසයෙන් පාලියෙන් තිබූ දාඨාවංසය වැනි පොත් සිංහල වෙන්නට පටන් ගති. ඵලගන්නට පටන් ගත් ගසක් පිට පිට ඵලදාව දෙන්නා සේ ඊට පසුව ඒ පූජනීය වස්තු මුල් කරගත් පොත් ඉහළින් ලියවී ආවේය. (පුංචිබණ්ඩාර සන්නස්ගල, සිංහල සාහිත්‍ය වංශය, 241 පිටුව)
භාෂාවෙහි විය පැමිණි කෙනෙකුට මිස දළදා සිරිතේ රචනය කරනු බැරි ය. එහෙයින් දළදා සිරිතේ කතු හෙළබස පමණක් නොව සකු, පාලි ද හොඳ හැටි උගත්, කැමති සැටියකින් ලිවීමේ පුහුණුව ද ලබා සිටි වියත් ලේඛකයෙකු වී ඇත. එය උස් හඬින් විරිත් වැකකි සේ හඬනගා කියවූ තරමට ඇසීමෙහි රුචිය දනවයි. (පුංචිබණ්ඩාර සන්නස්ගල, සිංහල සාහිත්‍ය වංශය, 244 පිටුව)
ගුත්තිල කාව්‍යය
රීතියෙන් හා වස්තු වින්‍යාසයෙන් ද කාලිදාසගේ රඝු වංශයට ළං කළ හැක්කේ ගුත්තිල කාව්‍යය පමණි. පැරණි ශ්‍රේෂ්ඨතම ආලංකාරිකයන්ගේ සිද්ධාන්තයන්ට අනුකූලව රචිත කාව්‍යය ද ගුත්තිලය යි. ගුත්තිලය පැරණිතම ආලංකාරිකයන්ගේ සිද්ධාන්තයන්ට නිදසුන් කළ හැකි නිර්මල කාව්‍යයක් වූයේ කෙසේදැයි වටහා ගැනීම දුෂ්කර නොවේ. ගුත්තිල කාව්‍යය කළ වෑත්තෑවේ හිමියෝ ප්‍රතිභායෙන් භරතමුනිහු වැනි ආලංකාරිකයන් ගුරු කොටගත් කාව්‍යයන් නිපදවූවන්ට ළංවූවෙකි. (මාර්ටින් වික්‍රමසිංහ, සිංහල සාහිත්‍යයේ නැගීම, 239 පිටුව)
ගුත්තිල කාව්‍ය අපූරු රූ සපුවක් හා ගුණ සපුවක් ඇති සුවිනීත සුකුමාර දැරියක වැන්න. එහි එන වර්ණනා එවැනි දැරියක තම රූ සපුවට තුඩු දෙනු පිණිස ඇඳි සිනිඳු පටසළුව, හිසෙහි පැළඳි මල, කන් සරසන ලද කරාඹු යන ආදිය වැනි අලංකරණයන්ට සීමා වෙයි. එහෙයින් පණ්ඩිතයන් විසින් වෙන් කොට ගෙන පෙරළ පෙරළා උරගගා බැලිය යුතු අලංකරණ නමැති අභරණින් බර කරන ලද්දක් නොවේ ගුත්තිල කාව්‍යය. (මාර්ටින් වික්‍රමසිංහ, සිංහල සාහිත්‍යයේ නැගීම)
මේ කාව්‍ය වනාහි ග්‍රන්ථයක් වශයෙන් අනර්ඝ වෙයි. ප්‍රබන්ධයක් වශයෙන් රම්‍ය වෙයි. රචනාවක් වශයෙන් දීප්තිමත් වෙයි. මෙහි භාෂාව හා සන්දර්භය ද අතිපරිශුද්ධය. පදයෙන් පදය ප්‍රීත්‍යාවහනයම කෙරේ. ශබ්ද ශාස්ත්‍රය, කාව්‍ය ශාස්ත්‍රය, අලංකාර ශාස්ත්‍රය යනාදි ශාස්ත්‍රයන් සම්බන්ධි යම් ප්‍රශ්නයක් උපන් විට ඒ ප්‍රශ්නය විසඳීමේ දී මේ ග්‍රන්ථය වනාහි පණ්ඩිත සභාවෙහි අනුල්ලංග්‍ය ප්‍රතාපයෙන් විරාජමාන වේ. (ඩබ්. එෆ්. ගුණවර්ධන, ගුත්තිල කාව්‍ය වර්ණනා, 36 පිටුව)
සංස්කෘත කවීනට ණය ගැති නොවී සංස්කෘත මහා කවීන් ගත් මග ගෙන මහාකාව්‍යයක් ලියා මහා කවියෙකු වීමට තැත් නොකර බෝසත් සිරිතක් මටසිලිටු බසින් රසවත් ලෙසත් විසිතුරු ලෙසත් කවියට නැගූ එකම සිංහල කවියා ගුත්තිල කව ලියූ වෑත්තෑවේ හිමියන් බව කිව යුතුය. කේ.ඩී.පී. වික්‍රමසිංහ, සිංහල ලේඛක පරපුර)
ගුත්තිල කව පොදුජනයා සඳහා බණ කතාවක් සේ ලියවී ආ බවට සැකයක් නැත. එහි අවසානයෙහි දැක්වූ දෙවඟනක් පිළිබඳ තොරතුරු සංග්‍රහය බොදු පිළිවෙත් අනුව පොදු ජනයා විශේෂයෙන් ස්ත්‍රී පක්ෂය යහමගට යොමු කරවනු සඳහා ලියූවකි. එය ආගමික උපදේශ කාව්‍යයක මුහුණුවරක් ගනී. ඒ පිළිවෙත හාහාපුරා කියා බිහිව ආයේත් ගුත්තිල කාව්‍යයෙන් යැයි සිතුව නිවරද ය.ඒ නිසා ගුත්තිල කව කවිසේකරය වුවද අබිබවමින් බොදු පොදු ජනතාවට වැ ඩසලසනු වග පෙනී යයි. දහම් නයත් විිමගත් එක සේ ඔප් නැංවූ සාහිත්‍ය රචනයක් හැටියට කෝට්ටේ සාහිත්‍ය වංශයෙහි ගුත්තිල කව අනුස්මරණීය වෙයි. (පුංචිබණ්ඩාර සන්නස්ගල, සිංහල සාහිත්‍ය වංශය, 274 පිටුව)
තමා සකස් කොට ගත් සායමක් තෙලිතුඩින් ගෙන මනහර සිතුවමක් අඳින දක්ෂ ශිල්පියෙකු මෙන් වෑත්තෑවේ හිමියෝ කටවහර ගත්වහර හා පමණට මුසු කොට ගැනීමෙන් සකස් කොටගත් එහෙයින්ම ප්‍රසාද ගුණයෙන් මෙන්ම ජීවමාන ලක්ෂණයෙන් ද නො අඩු ආරකින් ගුත්තිල ජාතකය කවියට නංවාලීය. ඔවුන්ගේ ව්‍යායාමය එක් කෘතියකට පමණක් සීමා වුවද ඒ ගණයේ කෘතීන් සිය ගණනෙකිනුදු නොලැබෙන ආලෝකයක් සිංහල සාහිත්‍යයට දීමට එය සමත් විය. (කොත්මලේ අමරවංශ හිමි, සිංහල සාහිත්‍ය ලතා)
රාජකීය පණ්ඩිත පදියතලාවේ ඤාණවිමල හිමි
0717126936






No comments:
Post a Comment