අභිනව සාසන වංසය
වංසකථාවක් යනු කුමක්දැයි පෙර දාඨාවංසය සමග කරන ලද විවරණයේදී ඔබ අවබෝධ කරගන්නට ඇත. මෙහි දී අභිනව සාසන වංසය පිළිබඳ කරුණු ගොනු කිරීම මුඛ්‍ය පරමාර්ථය වේ. වංසකථා අතර මෑතකාලීනව රචනා වූ කෘතිය ලෙස මෙම කෘතිය හැඳින්වීම වරදක් නැත. මෙය රචනා කිරීම හා එහිලා කතුවරයා අපේක්ෂා කළ අභිමතාර්ථ මොනවාදැයි කෘතිය පරිශීලනය කිරීමේ දී අපට අවබෝධ කරගත හැකිය. ඒ අනුව සංඥා, කර්තෘ ආදී තොරතුරු පිළිබඳ මුලින්ම හැඳිනගෙන, අවබෝධ කරගෙන සිටීම වැදගත් වේ.
මෙම කෘතියේ රචකයා වශයෙන් හැඳිනගත හැකි වන්නේ විදුරුපොල පියතිස්ස මාහිමිපාණන් වහන්සේය. උන්වහන්සේගේ ආචාර්යවරුන් වන්නේ පතාකන්තිසේ අමිතසාර හිමියන් සහ විදුරුපොල රතනජෝති හිමියන්ය. 1890 මැයි මාසයේ 26වැනි දින පැවිදි භූමියට පත් මේ හිමියෝ සිංහල, පාලි, සංස්කෘත ආදී භාෂාවන්හිත් සාහිත්‍යයන්හිත් හසළ දැනුමකින් යුක්ත වූහ. උන්වහන්සේ රචනා කළ කෘති කිහිපයකි. ඒ අතර,
- කමලඤ්ජලී
- මහානෙක්ඛම්ම චම්පු
- අභිනවසාසන වංසය
යන කෘති අතිශයින් වැදගත් වේ. මේ ග‍්‍රන්ථ තුනම පාලි භාෂාවෙන් රචිත ඒවා වීම ද විශේෂත්වයකි. මෙම කෘතියෙන් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන්නේ අභිනවයෙන් මේ සිරිලක ආරම්භ වූ, ස්ථාපනය වූ අමරපුර නිකාය පිළිබඳවය. ඒ අනුව මෙහි සංඥාව හෙවත් ග‍්‍රන්ථ නාමය අභිනව සාසන වංසයයි. අමරපුර නිකායේ ආරම්භය හා විකාශනය සිදු වීම මනාව නිරූපණය කරන නිසා මෙම නාමයෙන් හඳුන්වා ඇති බව පෙනේ. මෙහි ග‍්‍රන්ථ නාමයෙන්ම පැහැදිලි වන්නේ (අභිනව සාසන* අලූත් යම් වූ දෙයක් ප‍්‍රතිෂ්ඨාපනය වී ඇති බවයි. එහි ඉතිහාසය ප‍්‍රකාශ කිරීම යන අර්ථයෙන් ඉහත පරිදි අභිනව සාසන වංසය යන නාමය ව්‍යවහාර කර ඇත.
තෙවැනිව හඳුනාගත යුතු කරුණ නම් මෙහි නිමිත්ත හෙවත් අරමුණ කුමක්ද යන්නයි. ඕනෑම කාර්යයක් සිදු කිරීමට යම් වූ අරමුණක් පරමාර්ථයක් තිබිය යුතුවේ. විශේෂයෙන්ම මෙවැනි වටිනා කෘතියක් රචනා කිරීම ලෙහෙසි පහසු කර්තව්‍යයක් නොවේ. ඒ අනුව මෙහි අරමුණ හෙවත් නිමිත්ත වන්නේ අමරපුර නිකායේ ආරම්භය හා ව්‍යාප්තිය දක්වා අනාගත පරපුරට එකී කරුණු දක්වාලීමයි. මෙම කෘතිය රචනා නොවූයේ නම් අමරපුර නිකායේ ආරම්භය පිළිබඳවත්, එය ආරම්භ කිරීම සඳහා දායකත්වය දැක්වූ ගිහි පැවිදි පිරිස් පිළිබඳවත් අමරපුර නිකාය ආරම්භ කිරීමේ දී ඇති වූ විවිධ ගැටලූ හා ඒවා පරාජය කර කුමනාකාරයෙන් ජයග‍්‍රාහී මාවතට පිවිසියේද යන කරුණු පිළිබඳවත් අවබෝධයක් අපට ඇති නොවන්නට ඉඩ තිබිණි. එනමුදු මෙම කෘතිය රචනා වීම නිසා ඉහතින් දැක්වූ අවස්ථා අප කෙරෙන් පැන නැගුණේ නැත. මෙය රචනා කළ කර්තෘවරයා ද අපේක්ෂා කළේ මෙම අභිලාෂයන් මුදුන් පමුණුවා ගැනීම බව සිතා ගැනීම වරදක් නොවේ. එසේම මෙහි එම කරුණුවලට අමතරව තවත් බොහෝ කරුණු අන්තර්ගතව ඇත. ඒවා පිළිබඳව කෘතියෙන් ලැබෙන ප‍්‍රයෝජන යන මාතෘකාවේදී ඉදිරිපත් කර ඇත.
ඉන් පසුව අවධානය යොමු කළ යුත්තේ මෙහි ප‍්‍රමාණය පිළිබඳවයි. ප‍්‍රමාණය යනු මෙහි අන්තර්ගත සමස්තයයි. ඒ අනුව මෙහි පරිච්ෙඡ්ද සතරකි.
පළමු පරිච්ෙඡ්දයේ ගාථා 36ක්ද
දෙවැනි පරිච්ෙඡ්දයේ ගාථා 50ක්ද
තෙවැනි පරිච්ෙඡ්දයේ ගාථා 27ක්ද
සිව්වැනි පරිච්ෙඡ්දයේ ගාථා 38ක්ද වශයෙන් සමස්ත ගාථා ප‍්‍රමාණය 151කි. මෙය පද්‍ය ගණයට වැටෙන සාහිත්‍ය කෘතියකි. සාහිත්‍ය කෘති ගද්‍ය පද්‍ය චම්පු වශයෙන් කොටස් තුනෙකින් සමන්විත වේ. ගද්‍ය යනු ෙඡ්ද වශයෙන් ඇති කෘතිය. පද්‍ය යනු කවි, ගාථා, ශ්ලෝක ආදී වශයෙන් ඇති සාහිත්‍ය කෘතිය. චම්පු යනුවෙන් හඳුන්වන්නේ ගාථා සහ ගද්‍ය ෙඡ්ද වශයෙන් ඇති සාහිත්‍ය කෘතිය. ඒ අනුව රසවාහිනිය චම්පු කාව්‍යයකි.
අවසාන වශයෙන් මෙය මගින් ලැබෙන ප‍්‍රයෝජන පිළිබඳ දැක්වීම වැදගත් වේ. ඒවා අංක වශයෙන් පෙළගස්වා දැක්විය හැකිවේ.
- පාලි භාෂාව පිළිබඳ හසළ දැනුමක් ලබා ගැනීම පිණිස
- බුද්ධ පරිනිර්වාණයෙන් පසුව සිදු වූ සංගායනා ත‍්‍රිත්වය පිළිබඳ කරුණු හැඳින ගැනීම පිණිස
- අමරපුර නිකායේ ආරම්භය ව්‍යාප්තිය පිළිබඳ කරුණු දැන ගැනීමට හැකිවීම
- රාජාධිරාජසිංහ රජුගෙන් පසුව ලාංකීය සාසන ඉතිහාසය හඳුනාගත හැකි වීම
- සීමා සම්මත කිරීම උපසම්පදා විනය කර්මය සිදු කිරීම ආදී සාසනික වත්පිළිවෙත් පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකි වීම
- පාලි ව්‍යාකරණයෙහි අන්තර්ගත සන්ධි සමාස තද්ධිත ආදී ව්‍යාකරණ ප‍්‍රභේද හැඳිනගත හැකිවීම සහ ඒවා ශාස්ත්‍රෝද්හිතකාමී ශිෂ්‍යයන්ගේ රචනා සඳහා යොදා ගැනීමේ හැකියාව
ආදිය ප‍්‍රයෝජන දැක්විය හැකිය, මේ අනුව අභිනව සාසන වංසය යනු පාලි වංසකථා සාහිත්‍යයේ මෑතකාලීනව බිහි වූ අග‍්‍රගණ්‍ය නිර්මාණයක් බව දැක්වීම සාවද්‍ය නොවන්නකි.
No comments:
Post a Comment